Tamil-Sri LankaEnglish (United Kingdom)
Home නැරඹිය හැකි ස්ථාන පිළිබඳ තොරතුරු

වැදගත් ස්ථාන

තිස්සමහාරාම විහාරය - හම්බන්තොට දිස්ත්‍රික්කය

තිස්සවැව අසබඩ පිහිටි තිස්සමහාරාමය රුහුණේ වෙහෙර විහාර අතර මුදුන් මල්කඩක් සේ සලකනු ලැබේ. මෙය කාවන්තිස්ස නර නිරිදුන් විසින් තනවන ලද බව මහා වංශයේ සඳහන්වේ.

සිව්වන මිහිදු ඈපා විසින් කර වූ යැයි සැලකෙන කිරින්ද සෙල්ලිපියේ මෙම විහාරයේ බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව නිදන් කල බවත් සඳහන් වේ .

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී තිස්සමහාරාමයටද වැඩම කළ බව ධාතු වංශයේ සඳහන්වේ. දුටු ගැමුණු රජු (කි.පූ 161-137) මෙම විහාරයේ මල් පහන් පූජා කොට ලංකාව එක් සේසත් කිරීමේ සටනට ගමන් ආරම්භ කළ බව කියනු ලැබේ.

මෙම ‍‍ඵෙතිහාසික රෝහණ රාජ්‍යය ප්‍රධානතම ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානය විය. මෙහි භික්ෂූන් දහස් ගණන් වැඩ විසූ බව පැරණි පොත් පත්වල සඳහන් වේ.

ලක් වැසි බෞද්ධ ජනතාව පුද සත්කාර කරන රුහුණේ ප්‍රධානතම සිද්ධස්ථානය මෙයයි.
 
යඨාල වෙහෙර

දෙබරවැව හා තිස්සමහාරාම නගර අතර මැද තිස්ස මාර්ගය අසබඩ මෙම විහාරය පිහිටා ඇත. මෙය රෝහණ රාජ්‍යයේ මූලාරම්භකයා වශයෙන් සැලකෙන මහානාග යුව රජු විසින් ඉදිකරන ලදැයි කියනු ලැබේ. තම සොයුරු දේවානම් පියතිස්ස රජුගේ බිසව හා ඇති වූ අමනාපයක් නිසා රජරට අත්හැර රුහුණට පලා එන අතර මඟ දී මහා නාග රජුගේ බිසවට ප්‍රසූත වේදනාවක් අති වී මෙම ස්ථානයේදී පුත් කුමරෙකු ප්‍රසූත කළාය. යඨාලතිස්ස නමින් හැදින්වූ එම කුමරුව බිහිකල ස්ථානය සිහිවීම පිණිස මහා නාග කුමරුමෙහි චෛත්‍යයක් කර වූ බවත් එය යඨාල විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වූ බවත්කියනු ලැබේ.

සිතුල් පව්ව

 

මෙය රුහුණේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම විහාරය මහා වංශයේ චිත්තල පබ්බත යනුවෙන් හදුන්වා දී තිබේ. තිස්සමහාරාම නගරයේ සිට කිරින්ද පාරේ යෝධකන්ඩිය වැව පසු කොට මඳ දුරක් ගිය විට වම් පසට වනාන්තරය මැදින් වැටුන ගුරු පාරක් ඇත. මෙම පාරේ සැතපුම් 16 (කි.මී.25.7) ක් ගිය තැන සිතුල්පව්ව හමුවේ. පැරණි සමයේ සිතුල් පව්ව වනවාසී භික්ෂූන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. මෙහි වැඩවිසූ භික්ෂූන් වහන්සේලා සිල්වත් බව හා දැන උගත් කම ගැන පතළ කීර්තියක් ලැබූහ.

මෙම සිද්ධස්ථානය මහ සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව යනුවෙන් ගල් පර්වත දෙකක් ඇත. මේවා ආශ්‍රිතව සිතුල්පව්ව වැව පිහිටා ඇත. උසින් අඩි 400 ක් වූ මහසිතුල්පව්ව පර්වතයේ ගල්ලෙන් විහාරයක් ඇත. ගල මුදුනේ සිතුල් පව්ව මහ සෑය දක්නට ලැබේ. මෙය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දැක් යැයි පවසනු ලැබේ.

දැනට ලැබී ඇති සෙල්ලිපි වලට අනුව මෙහි නඩත්තුවට නොයෙක් ගම්වර පූජා කර තිබෙන බව හෙලි වේ. මෙම සිද්ධස්ථානය පිළිබඳ රසවත් ඵෙතිහාසික තොරතුරු පැරණි පොත පත්වල සඳහන් වේ.

 
මුල්කිරිගල රජ මහා විහාරය
 

රුහුණේ ඉපැරණි සිද්ධස්ථානය වන මෙය මුල්කිරිගල නමින් ප්‍රසිද්ධ ගල් පර්වතය මුදුනේ පිහිටා තිබේ. ප්‍රදේශයේ විහාරස්ථාන අතුරින් වැදගත්කමින් මෙය දෙවැනි වන්නේ තිස්සමහාරාහ විහාරයට පමණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර භාගයේ පිහිටි මෙම විහාරස්ථානයට බෙලිඅත්ත වීරකැටිය මහා මාර්ගයෙන් මුල්කිරිගල හංදියට හැරී මුල්කිරිගල ඔකේවෙල මාර්ගයේ සැ.1 (කි.මී.1.6) න් ලඟා විය හැකිය.

මෙය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දැක් යැයි සී.ඩබ්. නිකුලස් ඇතුළු ඉතිහාසඥයෝ බොහෝ දෙනෙක් නිගමනය කරති. මෙහි ඇති බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද පැරණි සෙල්ලිපි විහාරයේ පෞරාණික බව ඔප්පු කරන සාධකයන්ය.

මෙම සිද්ධස්ථානයේ ඇඳ ඇති බිතුසිතුවම්, විහාර ගෙවල්, දාගැබ් හා කැටයම් කර්මාන්ත මහනුවර යුගයට හා ඉන්පසු කාලයට අයත් වේ. පුරාණ කාලයේදී මෙම ප්‍රදේශයේ පහල වූ නාගයෙක් අසබඩ රෑස්ස ගසක සිට මෙම පර්වතයට පැන පහළට ඇදී ගිය බවත් ඒ නාගයා ගිය ගමන් මාර්ගයට අනුව පන්සලේ සැලැස්ම සකස් කල බවත් කියනු ලැබේ. පැරණි කළා සිතුවම් නිසා මෙම විහාරය විදේශිකයන් අතර පතල වී ඇත.

මුල්කිරිගල පන්සල නැරඹීමට පැමිණි විදේශිකයන් අතරින් නොමැකෙන සේවයක් ඉටුකල තැනැත්තා බ්‍රිතාන්‍ය යුගයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයෙකු වී සිටි ජෝර්ජ් ටර්නර් ය. ඔහු 1826 දී මුල්කිරිගලට පැමිණි අවස්ථාවේදී ලබා ගත් මහාවංශ ටීකාව ඉංග්‍රිසියට පරිවර්තනය කොට ප්‍රසිද්ද කරන ලදී. බටහිර උගතුන් ලංකා ඉතිහාසයේ පැරණි සිංහල පාලි සාහිත්‍ය හා කලාව පිළිබඳව උනන්දු වූයෙන් එම විෂයන් පිළිබඳව ශාස්ත්‍රිය පර්යේෂණ රැසකට මුලපුරන ලද්දේ ටර්නර්ගේ කෘතිය පළවීමෙන් පසුවය.

දක්ෂිණ ලංකාවේ මෑත කාලීන ශාසන උන්නතියට විශාල සේවයක් මෙම සිද්ධස්ථානය මඟින් ඉටු වී ඇත.

කිරින්ද විහාරය

 

තිස්සමහාරාම නගරයේ සිට සැ.7 (කි.මී.11.3) ක් දුරින් තිස්ස කිරින්ද මහා මාර්ගය මෙම විහාරය පිහිටා තිබේ. පැරණි කාලවල මෙයමැද විහාරයයනුවෙන් හදුන්වන ලදී. රුහුණු ඉතිහාසයේ වැදගත් තැනක් මෙම සිද්ධස්ථායට හිමිය. මුහුද ගොඩගැලීමේ තර්ජනයෙන් රටවැසියා බේරා ගැනීම සඳහා කැළණි තිස්ස රජු සිය දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිලි පූජා කළේය. මෙසේ මුහුදේ පාවී ආ මෙම කුමරිය ලංකාවේ ගිනිකොණ දිගවෙරළේ පිහිටි මෙම ස්ථානයට ළඟා වූවේ යයි කියනු ලැබේ. විහාර මහා දේවිය රුහුණට ගොඩබට මෙම ස්ථානය සිහිවීම සඳහා කාවන්තිස්ස රජු මෙම විහාරය කරවන ලදැයි ඵෙතිහාසික තොරතුරු වල සඳහන් ය.

කිරින්ඳ වෙරළේ පිහිටි ගල් කුළු මුදුනක තනා ඇති මෙම විහාරයේ බෝධියක්ද, විහාර ගෙයක්ද, විහාර මහා දේවිය නමස්කාර කර ගෙන සිටින ඉරියව්වෙන් නෙලූ පිළිමයක්ද ඇත. ගොඩබිමට හා මුහුදටද පැහැදිලිව පෙනෙන පරිදි ඉතාමත් සිත්කළු පරිසරයක පිහිටා ඇති මෙය ලක්දිව බෞද්ධයන් අතර සුපතල සිද්ධස්ථානයකි.

 
ගෝඨ පබ්බත විහාරය

වලවේ ගඟ මුහුදට වැටෙන පායි බොක්ක නම් ස්ථානයේ වෙරළබඩ ගල්කුලක් මුදුනේ මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

තංගල්ල - හම්බන්තොට මහා මාර්ගයේ 142 හා 143 සැතපුම් කණු දෙක අතර ප්‍රදේශයෙන් මෙම ස්ථානයට ලඟා විය හැකි මාර්ගයක් ඇත.

ගෝඨපබ්බත නමින් පැරණි කාලවල හදුන්වන ලද මෙම විහාරය වත්මන් ව්‍යවහාරයේ ගොඩවාය විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වී තිබේ. හයවන සියවසේ සෙල්ලිපියක මෙය ගොඩවාය වෙහෙර යනුවෙන් සඳහන් වේ. මෙම විහාරය පළවන ගජබාහු (කි.ව.114 – 136 ) රජතුමා විසින් කරවන ලදැයි කියනු ලැබේ.

ගොඩපවත නම් තොටුපොලෙන් ලියවුනු තීරුබදු මෙම විහාරයේ කටයුතු සඳහා පූජා කරන ලදැයි සඳහන් සෙල්ලිපියේ මෙම ස්ථානය දක්නට ලැබේ. එම සෙල්ලිපිය ගාමිණි අභය රජු විසින් කරවන ලද බව එහි සඳහන් වේ. මෙහි නම් සඳහන් ගාමිණි අභය නැමැති රජතුමා I වන ගජබාහු රජු යැයි ඉතිහාසඥයෝ සලකයි.

රම්භා විහාරය

නෝනාගම - රත්නපුර මහා මාර්ගයේ උඩරොට නැමැති ගම්මානයේ වලවේ ගං ඉවුරු අසබඩ පිහිටි මෙය රුහුණේ පැරණි සිද්ධස්ථානයකි. අම්බලන්තොට සිට මෙම ස්ථානයට ඇති දුර සැ.8 (කි.මී - 12.8) ක් පමණ වේ.

මෙය පළවන විජයබාහු රජු විසින් තනවන ලදැයි විශ්වාස කරනු ලැබේ. පළවන විජයබාහු රජු සොලින්ට විරුද්ධව කළ තීරණාත්මක සටන මෙහෙය වූයේ මෙහි සිටය.

දහවන - දොළොස්වන ශත වර්ෂ අතර කාළයේ රම්බා විහාරය රෝහණයේ වැදගත්ම ආගමික හා ශාස්ත්‍රීය මධ්‍යස්ථානය බවට පත් විය.

සිත්තමගල්ල විහාරය

හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කය වෙන් කරන රම්මලේ කඳු වැටියේ හම්බන්තොට පාර්ශවයට ඇති බෑවුමෙහි තිබෙන වරාපිටිය ග්‍රාමසේවක වසමේ මෙම ලෙන් විහාරය පිහිටා තිබේ.

කිරම හුලංකන්ද මාර්ගයේ වරුපිටිය හංදියෙන් වම් පැත්තට තිබෙන වරාපිටිය මාවරල පාරේ මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

වලගම්බාහු රජු ද්‍රවිඩයන්ට පැරදී පලා අවුත් රම්මලේ කඳු ප්‍රදේශයේ සැඟවී සිටි කාලයේ මෙම විහාරය කරවූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

ඉහළ විහාරය හා පහළ විහාරය  නමින් විහාර දෙකකින් සමන්විත වූ මෙම සිද්ධස්ථානය තුළ දහඅට රියන් සැතපෙන පිළිම දෙකක්ද සත් සතිය, දම්සක් පැවතුම්, සූවිසිවිවරණය විදහා දැක්වෙන සිතුවම්ද ඇත.

 
 
මාටෙලෝ කුලුන

හම්බන්තොටපාරේ දිසාපති කාර්යාලය අසල අදත් දක්නට ලැබෙන මෙය ලන්දේසි යුගයේ නිර්මාණයකි. එකල මහනුවර රාජධානියට ලුණු ගෙන යන ලද්දේ හම්බන්තොට ලේවායෙනි.  ලුණු සැපයීම පාලනය කිරීමෙන් උඩරට රජු මෙල්ල කර ගැනීමට සිතූ ලන්දේසීන් මෙහි මුරපොලක් පිහිටුවා සේනාවක් නතර කරන ලදී. හම්බන්තොට කඳු ගැටය මුදුනේ පිහිටි මෙම කුළුණ ආක්‍රමණික හා ආරක්ෂක මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් විය.

1926 දී දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය මෙහි පිහිටුවන ලදී. මෙය ඉංග්‍රීසි ජාතික නාවික ඉංජිනේරුවරයෙක් වන සෙන්පති කොපර් විසින් අලුත්වැඩියා කළ අතර එයට මාටෙලෝ ටවර් (Martello Tower ) යන නම තැබීය. මෙසේ හැදින්වූයේ එකල යුරෝපයේ කෝඩිකා නම් ස්ථානයේ ඉදිකල මේ හා සමාන ගොඩනැගිල්ලක නාමය අනුවය. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන බටහිර ගෘහ නිර්මණ ශිල්පය පිළිඹිබු කරන ඵෙතිහාසික ගොඩනැගිල්ලකි. මෙහි උස අඩි 50 ක් පමණ වේ.

මහා රාවණා (Great Basses ) කුඩා රාවණා (Little Basses ) කොටු ප්‍රදීපාගාර

අන්තර්ජාතික මුහුදු ගමනා ගමනයේ සුපතල ස්ථාන දෙකක් ලංකාවේ ගිනිකොණ දිග මුහුදු කලාපයේ පිහිටා තිබේ. සත් සමුදුර පීරාගෙන මෙම ස්ථානය පියමන් කිරීමට ආ නෞකා රැසක් කාලාන්තරයක් තිස්සේ බිලිගත් මෙම ගිරිකුලය මත අද ලෝකයේ විශ්මයජනක ප්‍රදීපාගාර දෙකක් ඉදි වී ඇත. නාවිකයන්ගේ පුවත් කියැවෙන ලොමු දැහැ ගන්වන පුවත් රැසකට සම්බන්ධ මෙම පර්වත දෙක කාලයක් හැදින්වූයේ පෙරදිග මුහුදු මාර්ගයේ මරු කපොලු දෙකක් වශයෙනි. වර්තමානයේ මෙම කුළු දෙක වධාත් පෘථුල ලෙස ව්‍යවහාර වී ඇත්තේ  ‘ගේට් බාසස්’, ‘ලිට්ල් බාසස්වශයෙනි.

ලංකා ඉතිහාසයේ පැරණිතම රාජධානිය වූ රාවණාගේ ලංකා පුරය මෙහි වී යැයි ඇතැම් විද්‍යාර්තීන් අනුමාන කරති. මේ ස්ථානයේ තොරතුරු ඇතුළත් කොට ප්‍රසිද්ධ කළ ලිපි හා ග්‍රන්ථ කිහිපයක් ලොව පුරා ප්‍රචලිත වී ඇත. මෙවැනි වැදගත් ස්ථානයක් ලංකාව සතු වීම එය මෙරට හා ගිණිකොනදිග මුහුණු වැසියන්ගේද ආඩම්බරයට හේතු වනු නොඅනුමානය.

මෙම හිරිගල් පර යුගල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද පොත්තන අතර මුහුදු තීරයට බෙහෙවින්ම සමාන්තරව සැතපුම් ගණනාවක් දිග සාගරයේ විහිදී තිබේ. මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව පිහිටියේ කිරින්දේ සිට නාවික සැතපුම් 8.5 ක් (කි.මී.15.5) හා නාවික සැතපුම් 26 (කි.මී.47.5)ක් දුරින් මුහුදේ පිහිටා ඇත.

මේවා ගොඩබිම සිට විහිදුන වැලිගල් වලින් නිර්මානය වී ඇතැයිද ඒ මත දීර්ඝ කාලයක් කොරල් ගොඩ ගැසීම නිසා කොරල් පර වශයෙන් දිස්වෙන බව භූ විද්‍යාඥයින් අදහස් දක්වයි.

කලු තීරුවකින් වට වූ ධවල වර්ණ බඳකින් යුත් කුඩා රාවණා කොටුව ප්‍රදීපාගාරයද ධවල වර්නණයෙන් ඒකාකාරව ඔපවත් වූ මහා රාවණා කොටුව ප්‍රදීපාගාරයද එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම අපහසු නොවේ.

මහාරාවණා හා කුඩා රාවණා කොටු ප්‍රදීපාගාර දෙක පරිසරයේ චණ්ඩ බලවේග යටපත් කොට මිනිසා විසින් ජයගත් විසිවන ශතවර්ශයේ විශිෂ්ඨතම ගොඩ නැංවීමේ කර්මාන්තයක් ලෙස සලකනු ලැබේ.

 

උස්සන්ගොඩ - හම්බන්තොට දිස්ත්‍රික්කය

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ තීරයේ ඇති ස්භාවික පරිසර අතර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පිහිටා ඇති උස්සන්ගොඩ ප්‍රදේශය සුවිශේෂ ස්ථානයක් ගනී.

උස්සන්ගොඩ භූමිය වියළි කලාපීය වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරන අතිශය සුන්දර භූමි භාගයකි.

මෙහි ඉතිහාසය රාම රාවණා රජුගේ රාජධානිය මෙහි පිහිටි බවත් රාවණා රජුගේ දඩුමොණරා (ගුවන් යානාව) ගොඩ බැස්ස වූ ස්ථානය ලෙසට ජනප්‍රවාදයේ මෙම ස්ථානය හැදින්විය.

පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් වශයෙන් ගොඩබිම හා සාගර ජෛව විවිධත්වයේ අතිශය වටිනාකමක් ඇති භූමි භාගයක් වශයෙනුත් උස්සන්ගොඩ වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා බව පෙනේ.

 
මාතර බෝධිය

මාතර නගර මධ්‍යයේ උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඉදිරිපස පිහිටි මාතර බෝධින් වහන්සේ උද්භිද විද්‍යාඥයන්ගේ පර්යේෂණ වලින් සොයා ගත් තොරතුරු වලට අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වේ. මෙම බෝධීන් වහන්සේ පිහිටි ප්‍රදේශය අතීතයේදී හත්බෝධි වත්ත නමින් හැදින්වූ බව මාතර ඉතිහාසය පසුවිමසුම් කිරීමේදී හෙලි වී ඇත.

පැරකුම්බාසිරිතේ ඇති කවියක කුමාරදාස රජු කාලිදාස නම් කිවිදු වෙනුවෙන් සිය දිවි පිදූබව සඳහන් වේ. ඒ අනුව තම මිතුරා වෙනුවෙන් සිහල නර පතියෙකු වූ කුමාරදාස රජතුමා දැවෙන දර සෑයට පැන දිවි පිදූ බවත් ඒ බව දැනගත් මෙතුමාගේ බිසවුන් වහන්සේද එම දර සෑයටම පැන මියගිය බවත් ඉතිහාසයේ සඳහන් වේ. මෙම සිදුවීම සිහිපත් කිරීම සඳහා මෙම බෝධීන් වහන්සේ ඇතුළුව බෝධි හතක් රෝපනය කරවූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

මේ ආකාරයට ඈත අතීතයේ සිට සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතික හා ආගමික කේන්ද්‍රස්ථායක් බවට මෙම බෝධින් වහන්සේ පත්ව ඇත.

වැවුරු කනන්නල පන්සල
 

මාතරදිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැවුරුකන්නල බෝධි රජ මහා විහාරය දකුණු පළාතේ ඵෙතිහාසික පුදබිම් අතර සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. ආසියාකරයේ විශාලතම සියක් රියන් බුදු පිළිම වහන්සේ දුටුවන්ගේ සිත් මවිතයට පත් කරයි. මෙම විහාරයේ මූලාරම්භය 1895 පමණ වූ බව ඉදිරිපස තොරණේ සඳහන් වේ. මෙහි ඇති පැරණි විහාරය සහ දේවාලයට මහනුවර යුගයේ නිම වූවක් බව ඵෙතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ඵෙතිහාසික අතින් ඉහළ වටිනාකමක් ඇති දුර්ලභ ගණයේ සිතුවම් බොහෝ ප්‍රමාණයක් මෙම විහාරස්ථානයේ දක්නට ලැබේ. මෙම විහාරගෙයි උඩ කොටසේ යෝධ පුදුම ඔරලෝසුව පිහිටුවා තිබේ. වැවුරුකන්නල පුදබිම ලෝපතල වීමට මෙම ඔරලෝසුවද ප්‍රධාන හේතුවක් වී ඇත.

දේශීය හා විදේශීය සංචාරකයින් අතර මහත් ප්‍රසිද්ධියට උසුලන මෙම ඵෙතිහාසික විහාරය දකුණු පළාතට මහත් ගෞරවයක් ගෙන දෙන ස්ථානයක් ලෙස සැලකේ.

 
මාතර රන්දුපත

දුටුවන්ගේ සිත් මවිතයට පත් කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවන මෙම රන් දූපත මාතර නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට මහ මුහුදේ පිහිටා ඇත.

මහගස් වැවුන මුකලානක් ලෙස 2003 වන තෙක් පැවති පරෙවි දූව ගල්පර වලින් වට වූ බැවින් පරයිදූව නමින් හැදින්වූ බව බොහෝ දෙනා පිලිගත් මතයක් වී ඇත.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ඉල්ලීමක් පරිදි රුපියල් මිලියන 30 ක අධික මුදුලක් වැයකර උපෝසථාගාර මහා විහාරය ඉදි කර ඇත.

2004 මාර්තු 30 දින විවෘත කර ශ්‍රී රෝහණ මහා සංඝ සභාවට මෙය සඟසතු කර පූජා කරනලදී. අතීතයේදී පරෙයිදූව නමිනුත් 2004 දී ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයලෙසත් හැදින්වූ මෙය 2014 වර්ෂයේදී එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජා ඔප්පුවකින් පූජා කිරීම නිසා ශ්‍රී රෝහණ උපොසථාගාර රජමහා විහාරය බවටත් පත් විය.

මාතර පුරවරයේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බදු මෙම පූජා භූමියේ බුද්ධ මන්දිර බෝධි ශාඛාවන් සමඟ වෙහෙර විහාර රැසක් දක්නට ඇත.

ගැටබරු රජමහා විහාරයේ පුරාවත - මාතර දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ගාල්ල - දෙනියාය ප්‍රධාන මාර්ගයේ 45 – 47 සැතපුම් කණු අතර පිහිටි මුහුදු මටිටමින් අඩි 1500 ක් පමණ උස් වූ සුප්‍රසිද්ධ ගැටබරු කන්ද මුදුනේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. අඩි 30 ක් පමණ වූ ගිරිලෙන තුළ දිගින් දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවහන්සේ පිහිටා ඇති අතර, මෙම විහාරයේ එක් පසකින් රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයද අනික් පසින් විෂ්ණු කතරගම මහා දේවාලයද පිහිටා ඇත.

බෞද්ධ අබෞද්ධ සැමගේ දීර්ඝ කාලීන සම්මානනයට පාත්‍ර වූ මෙම විහාරස්ථානය වලගම්බා රජතුමා විසින් කරවන ලද බවට මුඛ පරම්පරාගතය. සතුරු ආක්‍රමණවලට මුහුණ දුන්රජතුමා අනුරාධපුරයෙන් පලා විත් රුහුණේ විවිධ ස්ථානවලට සැඟ වී සිවිමින් සේනාසංවිධානය කල බවත් මේ කාලය තුළ ගැටබරු රජමහා විහාරය පිහිටි ස්ථානයේ වාසය කලබවද ජනප්‍රවාදයේ පැවසේ.

දීර්ඝකාලයක් වල් බිහි වී තිබි පැවති මෙම සිද්ධස්ථානයේ ක්‍රි.ව.1834 වසරේදී පමණ දඩයමේ ගිය ගම්වාසීන් පිරිසක් විසින් සොයා ගත් බවත්, පසුව ගම්වාසීන්ගේ සහයෝගයෙන් සංඝවාසයක් තනවා වීරසිංකන්දේ සුමංගල මහා ස්ථවිරයන් වහන්සේ එහි නතරකරවූ බවත් සදහන් වේ.

 මාතර තාරකා කොටුව

ලන්දේසි පාලන සමය තුළ ඉදි කරන ලද තාරකා කොටුව නමින් වර්ථමානයේ හඳුන්වන ලද මෙය මුල් වකවානුවේ .Redoute Vaneck නමින්හඳුන්වා ඇත. ලන්දේසින්ගෙන් වාස්තු විද්‍යාත්මක හැකියාව හා බලකොටු ඉදිකිරීමෙහිලා දැක්වූ සුවිශේෂි හැකියාව හා සැලසුම් සහගත බව තාරකා කොටුව තුළින් මනාව ප්‍රකට වේ.

ලන්දේසින් විසින් තනන ලද මාතර කොටුව  පිටතින් ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම තාරකා කොටුව ඉදි කර ඇත. මෙය තාරකාවක හැඩයෙන් යුක්ත නිසා මෙම නම ව්‍යවහාරයට පත්ව ඇත.

1876 දී බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණයන් සමඟ මෙම තාරකා කොටුවේ බලයද ඔවුන්ගේ අනසකට යටත් විය. බ්‍රිතාන්‍ය යුගයේදී මෙම කොටුව ඔවුන්ගේ සිවිල් පරිපාලන කටයුතු සඳහා යොදා ගන්නා ලදී. 1974 වර්ෂයේදී මෙය පුරාවිද්‍ය දෙපාර්තමේතුව යටතට පත් කරනලදී. ඉන් පසු මෙය මුල් ඉදිකිරිම් වලට සමාන අයුරින් සංරක්ෂණය කරන ලදී.

මාතර නගරයේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ සුවිශේෂි ස්ථානයක් බවට මෙය අද පත්ව ඇත. යටත් විජිත යුගයේ නෂ්ඨාවශේෂයන් වශයෙන් තාරකා කොටුව දැක්විය හැකිය.

සීනිගම දේවාලය - ගාල්ල දිස්ත්‍රික්කය

දකුණු බටහිර වෙරළේ කොළඹ - මාතර ප්‍රධාන මාර්ගයේ (හික්කඩුව නගරයට ආසන්නව ) මුහුදේ කුඩා දූපතක සීනිගම දේවාලය පිහිටා ඇත.

මෙම දේවාලය දෙවොල් දෙවියන්ගේ පූජා ස්ථානයක් වශයෙන් ලාංකිකයන් විසින් පිළිගනුලැබේ.දෙවොල් දෙවියන් දේශීය වශයෙන් ජනතාව අතර උපහාරයට ලක් වූ දෙවියෙකි.මේ දෙවියන්ට ඉන්ද්‍රජාලික බලයක් ඇති බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී. මෙම දෙවොල්දෙවියන්ගේ තවත් පූජා ස්ථාන (දේවාල) වශයෙන් වෙරළාසන්නයේ පිහිටි මෙම ස්ථානයද වැදගත් වේ.

බාරහාර හා පූජා කටයුතු සඳහා ජනතාව මෙම දේවාලයට නිතර පැමිණේ. දෙවොල් දෙවියන් උදෙසා වාර්ෂිකව ඇසළ කාලය තුළ පූජා උත්සව පෙරහැර සංස්කෟතික සංදර්ශන මෙම ස්ථානයේපැවැත්වේ. එමෙන්ම තමනට යම් කිසි අසාධාරණයක් හෝ විපතක් පැමිණි කල්හි දෙවියන්ට කන්නලව් කිරීමත් දේවාලයේ ඇති විශේෂ ගලක මිරිස් ඇඹරීමත් කිරිම තුළින් යහපතක් ඇති වන බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවති.

 
 
රූකඩ නාට්‍ය කලාව

ශ්‍රී ලංකාවේ රූකඩ නාට්‍ය කලාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලංකාවට රූකඩ නාට්‍ය කලාව ඉන්දියාවෙන් ලැබුන දායාදයක් බව රූකඩ කලා ශිල්පීන්ගේ අදහසක් වේ.

ලංකාව හා ඉන්දියාව අතර පැවති දීර්ඝ කාලීන සම්බන්ධතා නිසා රූකඩනාට්‍ය කලාව ඉන්දියාවෙන් අප රටට දායාද වූවක් යන්න බැහැර කිරීමට පුළුවන්කමක් නැත. ශ්‍රී සිංහල ශබ්ද කෝෂයේ රූකඩයන් ලෙස හැඳින්වනුයේ ලී ආදියෙන් තනනලද ලී මිනිස් රූපයකටය. රූකඩය අජීවී වස්තුවක් වන නිසා එය ක්‍රියාත්මක කිරීමටවෙනත් කෙනෙකුගේ සහාය අවශ්‍යය වේ.

ශ්‍රීලංකාවේ රූකඩ සෑදීමට වැඩිවශයෙන් භාවිතා කරන්නේ කදුරු ලී යි. විවිධ චරිත නිරූපනයට අවශ්‍ය රූකඩ සෑදීමේදී හිස, කඳ, අත්, වැලමිට, පාදවල දණහිස වෙන්වෙන්ව කපාගෙන කම්බි කොකුවලින් ඔතා එකට සම්බන්ධ කර ගනී.එසේ කරනු ලබන්නේ චරිතනිරූපනයේදී එය චලනය කිරීමට පහසු වන නිසාය.එම කොටස්වලට වෙන වෙනම නූල් යොදාඑම නූලේ අත කොටස අඩි 1 ½ ක් පමණ දිගැති ලී කැබැල්ලකට සම්බන්ධ කර ගැටගසයි. රූකඩ ක්‍රියාත්මක කරනු ලබනඅට්ටාලය උඩට නැග රූකඩ ශිල්පියා රූකඩයකට සම්බන්ධ කර නූල් එහා මෙහා කරමින් කතාවට සරිලන සේ රූකඩය ක්‍රියා කරනු ලැබේ. එම ශිල්පියා විසින් ඊට අදාල දෙබස ප්‍රේක්ෂකයාට ඇසෙන සේ කියනු ලැබේ.

දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූකඩ කලාව පිළිබඳ ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් වේ.

   
රූමස්සල කන්ද -ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල වරායට දකුණු පසින් හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට උතුරු කෙළවරේ රූමස්සල කන්ද පිහිටා ඇත. හෙක්ටයාර් 400 ක පමණ භූමි භාගයක් මෙයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 40 ක පමණ උඩින් යුක්තය. ඉතා තද ග්‍රැනයිට් පාෂාණවලින් හා ඝනකම් පස් තට්ටුවකින් මෙම කන්ද නිර්මාණය වී ඇත. මෙම කන්දේ එක් තුඩුවක් ගාල්ල වරායේ ස්භාවික පිහිටීමට මහෝපකාරී වී ඇත. අනිත් තුඩුවේ සුප්‍රකට වැල්ලේ දේවාල පිහිටා ඇත.

රාම රාවණා සංග්‍රාමයේදී රෝගී බවට පත් වූලක්ෂ්මනයන්සුවපත් කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් පැලෑටියක් හනුමන්තා ඉන්දියාවේ හිමාල වනයෙන් ගෙන එන ලද බවත් හිමාල වනයෙන් කොටසක් ගෙන ඒමේදී මෙම කදුවැටියෙන් කොටසක් උනා වැටුනු බවත් එය රූමස්සල කඳුවැටිය වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. උනා වැටුන ස්ථානය අදඋණවටුනනමින් හැදින්වේ. අදට වුවත් මෙම කන්දේ අගනා ඹෟෂධ පාළෑටි වර්ග රාශියක් තිබෙන බව සොයා ගෙන ඇත.

ආයුර්වේදයේ සඳහන්ගොපළු ගුලියනැමැති බෙහෙත සෑදීමට අවශ්‍ය වනකොස්කැලන්නැමැති අතිශ්‍ය දුර්ලභ ශාඛයන්ද උණවටුන වැල්ල දේවාලය අසල දක්නට ඇත.

රෑමස්සල කඳු පාමුල වෙරළ තීරය මනස්කාන්ත කොරල් පරයෙන් පිහිටා ඇත. ලෝකයේ ඇති අති දුර්ලභ සජීවී පර කීපයක් මෙම වෙරළ තීරැවේ පිහිටා ඇත.මෙම කොරල් පරයේ විසිතුරු මසුන් හා ජලජ ජීවීන් විශාල වශයෙන් ගැවසේ. හරිත වර්ණ රූමස්සල කඳු වැටිය රුහුණේ හා සමස්ථ මානව වර්ගයා වෙනුවෙන් සොබාදහමින් ලැබුන අපූර්ව නිර්මාණයකි.

 සිංහරාජ අඩවිය

ශ්‍රීලංකාවේ දැනට ඉතිරි වී ඇති පැරණිතම වනාන්තරයක් වූ සිංහරාජ වනාන්තරය දිවයිනේ නිරිතදිග කොටසේ ගාල්ල, මාතර, රත්තපුර දිස්ත්‍රික් තුනට අයත්ව තෙත් කළාපයේ පිහිටා ඇත.

අක්කර 22,000 ක් පමණ වන සිංහරාජ වන පෙතෙහි ස්වභාවික මායිම් වශයෙන් උතුරින් නාපෙනෙල දොළ සහ කුකුළු ගඟද දකුණින් හා නිරිත දෙසින් මහදොළ සහ ගිං ගඟද බටහිරින් කලු කන්දාව ඇල සහ කුඩාව ගංගාවද නැගෙනහිරින් බෙවර්ලි වතු යායද සලකනු ලැබේ.

මෙම වනාන්තරයට වැටෙන වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 – 160 වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.හ. අංශක 74.6 ක් ලෙස සැලකේ. වනය මැද උස් වූ ගල් කන්දක් දක්නට ඇත. මෙය සිංහගල කන්ද නමින් හැදින්වෙයි. මෙහි පිහිටි යෝධ ගුහාවක සිංහයන් වාසයකල බවත් මේ අනුව මෙම වනාන්තරය සිංහරාජය වශයෙන් නම් කෙරුන බවත් ජනප්‍රවාදයේ පැවසේ.

1978 වසරේදී සිංහරාජ වනාන්තරය ජාත්‍යන්තර මිනිස් ජෛව කලාපයක් ලෙස නම් කරන ලදි. 1980 දී සිංහරාජය ජාතික වන බිමක් ලෙස නම් කරන ලදී. 1989 දී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුම බිමක් ලෙස නම් කොට එය ජාත්‍යන්තර ලැයිස්තුවට එක් කරනලදී.

මෙතෙක් කරන ලද පරීක්ෂණ නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති වටිනාම දායාදය  සිංහරාජය යැයි සලකනු ලැබේ.

රිටිපන්න ධීවර කර්මාන්තය

‍සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ මසුන් අල්වා ගැනීමේ ක්‍රම කිහිපයක් තිබෙන අතර ඒවා ඔරුපන්න, දැල්පන්න සහ රිටිපන්න යනුවෙන් හැදින්වේ.

මෙම පන්න ක්‍රමයෙන් දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික වලට අනන්‍ය වූ මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස රිටි පන්න ධීවර කර්මාන්තය හැදින්වේ.

විශේෂයෙන් වාරකන් කාලයට දියඹ මුහුදේ මසුන් ඇල්ලීමට යාම අපහසු නිසා වෙරළාසන්න මුහුදු තීරයේ සිටුවා ගත් රිටක නැගී සිට බිලී පිත්ත උපයෝගී කර ගනිමින් කුඩා ප්‍රමාණයේ මසුන් ඇල්ලීම රිටිපන්න ක්‍රමය නමින් හැදින්වේ.

මේ ක්‍රමය විශේෂයෙන් කොග්ගල, අහංගම, වැලිගම, පොල්හේන ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබේ.

විශේෂයෙන් මේ ප්‍රදේශවලට පැමිණෙන විදේශීක සංචාරකයන්ට මෙය අලුත් අත්දැකීමක් නිසා එය නැරඹීමට මහත් කැමැත්තක් දක්වන බව පෙනේ. රිටිපන්න ක්‍රමය කරන ආකාරය පිළිබඳ ඡායාරූප හා වීඩියෝ කිරීම විදේශ සංචාරකයන්ගේ විනෝදාංශය වී ඇත.

 

 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය